Monday, July 23, 2012

කොන්ක්‍රීට් ලින්ටල - නිවසක් තැනීමේදී වැදගත් තාක්ෂණික කරුණු (කොන්ක්‍රීට් -1)

නිවාස ඉදිකිරීමේ පිරිමැසුම්දායක තාක්ෂණයන් ගැන සොයමින්යන අපගේ තාක්ෂණික චාරිකාවේ පසුගිය ලිපි ගනනාවක්ම වෙන්වුනේ උළුවසු සහ ජනෙල් හරහා ගොඩනැගිල්ලක ඇතුලත පරිසරයට ස්වාභාවිකව ආලෝකය සහ වාතාශ්‍රය සැපයීම සම්බන්ධයෙනුයි. ඒ අතරින් අවසානයට අප අවධානය යොමුවුනේ ගොඩනැගිලි සදහා කොන්ක්‍රිට් උළුවසු සහ ජනෙල් රාමු භාවිතාකිරීම පිලිබදවයි. මේ මාතෘකාවෙන් පියවරක් ඉදිරියට තබමින් අද දවසේ අපගේ බලාපොරොත්තුව, උළුවසු තැබීමෙන් අනතුරුව එලබෙන තවත් වැදගත් ව්‍යුහයක් ලෙස සැලකෙන කොන්ක්‍රිට් ලිංටල ගැන වැඩියමක් කථාකරන්නයි.






සුද්දාගේ ඉදිකිරීම් තාක්ෂණයට අනුගතවෙමින් බිත්ති බැදීමේ අමුද්‍රව්‍යයක් ලෙස ඉංජිනේරුගල් (සම්මත ගඩොල්) භාවිතය ආරම්භවන තෙක්ම අපගේ නිවාස බොහොමයක් ඉදිකෙරුණේ, පරිසරයේ සුලභව සොයාගතහැකි අමුද්‍රව්‍ය භාවිතාකරමිනුයි. ඒ අතරින් බිත්ති බැඳීම සදහා මැටි හෝ හුණු-වැලි බදාමයක් සමග කබොක් හෝ නොපිලිස්සු ගඩොල්(මෝඩගල්) උපයෝගීකරගැනීම බොහෝවිට ප්‍රභූනිවාස ඉදිකිරීමේදී යොදාගනු ලැබූවා. බොහෝ සාමාන්‍ය නිවාස අනා-පදම්කරගත් මැටි බෝල භාවිතා කරමින් තාප්ප හෝ වරිච්චි බිත්ති ලෙසින් බැඳීම සිදුකෙරුණා. පසුව මෙම බිත්ති ඒ ඒ පුද්ගලයාගේ වත්පොහොසත්කම් අනුව මැටි/හුණු/සිමෙන්ති යොදාගනිමින් කපරාරු කරගැනීම සිදුවුනා.


මැටි කපරාරුවක්


මෙම බිත්ති සියල්ල අද අපි දකින සාමාන්‍ය ගඩොල් බිත්ති වලට වඩා වැඩි පලලකින් යුක්තවුනත්, එවන් බිත්තියක සකසනලද දොර/ජනෙල් කවුළුවක ඉහලින්වන බිත්ති කොටසේ බර දරාගැනීම සඳහා ලින්ටල භාවිතාකිරීමක් සිදුවුණේ නැහැ. එයට හේතු කිහිපයක් තිබෙන්නට පුළුවන්. ස්වභාවයෙන්ම වැරගැන්නුමක් අන්තර්ගත බැවින් වරිච්චි බිත්ති වලටනම් ලින්ටල අවශ්‍ය නැතිය කියන්න පුළුවන්. අනෙක් බිත්ති වර්ග සැලකූ විටත්, අදට සාපේක්ෂව පලලින් අඩු (පටු) දොර-ජනෙල් මෝස්තර භාවිතා කිරීමත්, ඉහල බිත්ති කොටසේ බර දරාගැනීමට හැකි තරමේ ශක්තිමත් දැව වර්ග වලින් තැනි දොර-ජනෙල් රාමු භාවිතා කිරීමත්,  යන කාරණා නිසා ලින්ටල් යෙදීමක් සිදුනොවන්න ඇති. හැබැයි ඒ නිසාම “දොර/ජනේල කවුළුවකට ඉහලින් වහලයේ බර දරනා යටලී/තලාඳ නොතිබිය යුතුය“ යන ජෝතිෂ්‍ය නියමය මෙවන් ගෘහයන් සඳහා මුළුමනින්ම අදාලවූවා. ඒ මොකද එවන් අතිරේක භාරයක් ලින්ටලක් රහිත කවුළුවකට දරාගත නොහැකිවන නිසයි.



කොහොම වුනත් පසුකාලීනව ඉදිකෙරුන ඉහතින් සදහන් කරාපු බිත්තිවර්ග බොහොමයක, දොර ජනෙල් කවුළු සඳහා ලින්ටලයක් ලෙසින් කටයුතු කිරීමට, ඉංජිනේරු ගලින් සකසනලද ආරුක්කුවක මුදුවරියක් භාවිතාකරතිබෙනු දකින්න පුළුවන්. ඒත් අද ඔබ දකින ආකාරයේ කොන්ක්‍රිට් ලින්ටල මුලින්ම යොදාගැනුනේ ගඩොල් (ඉංජිනේරුගල්) බිත්ති සදහායි. මොකද පසුකාලීනව වැඩි පියන් ගනනකින් යුතු පලලින් වැඩි ජනේල භාවිතය ජනප්‍රියවීමත් සමගම ලින්ටල රහිතව ඉදිකරන බිත්ති අස්ථාවරවූ නිසයි. කොහොමවුනත් ඒකාලේ භාවිතාවුනේ කවුළුවෙන් කවුළුවට වෙන් වෙන්ව යොදනලද ලින්ටලයි (Isolated lintels). පසුකාලීනව බිත්ති බැඳීමේ අමුද්‍රව්‍යක් විදිහට සිමෙන්ති බ්ලොක්ස් ජනප්‍රිය විමත් සමග එහි ආවේනික දුර්වලතාවන් සමහරක් ජයගැනීම සදහා අඛණ්ඩ ලින්ටල  (Continuous lintels) භාවිතය ආරම්භ වුණා.

ලින්ටලයක් වෙනුවට ආරුක්කු මුදුවරියක්

අද දවසේ බෙහෙවින් ජනප්‍රියව ඇති අඛණ්ඩ ලින්ටල, තනිතට්ටුවේ ගොඩනැගිල්ලක හෝ මහල් ගොඩනැගිල්ලකනම් අවසන් මහල සදහා යොදාගනු ලබනවා. එවැන්නක් කවුළු සහිත ස්ථානයන්හි ඉහල බිත්තිවල භාරයන් පහලට සම්ප්‍රේෂණය කිරීමට අමතරව, ගොඩනැගිල්ලේ ඉහල ස්ථරයකදී  tie beam එකක් විලසින් සියළු බිත්ති ඒකාබද්ධ කිරීමටද දායකවෙනවා. ලින්ටලයක හරස්කඩ, එය යොදාගනුලබන කවුළුවේ පරාසය (span) සහ කවුළුව ඉහලින්වන බිත්තියේ උස ආදී සාධකමත වෙනස්වුවත්, සාමාන්‍ය අවස්ථාවකදී 10mm දඟරවානේ (tor steel) කම්බි දෙකක් සහිතව බිත්තියේ පලලට සහ 6“ක උසක් සහිතව යොදාගැනීම සෑහෙනබවයි කියන්න තියෙන්නේ. හැබැයි මේ දඟරවානේ කම්බි,  ලින්ටලයේ පතුලට ආසන්නව 1“ක් උසින් යෙදියයුතුවේ. (මෙම අගයට කියන්නේ කොන්ක්‍රීටයේ “වැස්ම“ (Cover) කියලායි. එහෙම යෙදියයුත්තේ ඇයි කියනකාරණය ඉදිරි පෝස්ටුවකින් විස්තර කරන්නම්)

ලින්ටල් බ්ලොක්ස්

මහල් ගොඩනැගිල්ලක පහත මහල්වල බිත්තිවලට ඉහලින් කොන්ක්‍රිට් තලාඳ (floor beam) යෙදෙන බැවින් දොර ජනෙල්මත පැටවෙන භාරය අවම වේ. එබැවින් ඒ ඒ කවුළුවෙහි පරාසය (span) සහ කවුළුව ඉහලින් කොන්ක්‍රිට් තට්ටුව දක්වා වන බිත්තියේ උස අනුව ලින්ටල භාවිතා කිරීම හෝ නොකිරීම තීරණයකල හැකිය. කෙසේ වුවද එවන් විටක යොදාගනු ලබන්නේ තනි තනිව යොදනලද ලින්ටල (Isolated lintels) වර්ගයයි. මෙම Isolated lintels පෙරසවි (Pre cast) ආකාරයෙන් හෝ භාවිතාකරන තැනම ඉදිකෙරෙන (In situ) ලෙස ආකාර දෙකකට නිර්මාණය කරගැනීමේ පහසුව ඇති නමුදු Continuous lintels බොහෝවිටදී භාවිතාකරන තැනම ඉදිකෙරෙන වර්ගයට අයත්වෙනවා. 


කෙසේවෙතත් ඔබගේ ඉදිකිරීම සඳහා ලින්ටල වශයෙන් අඩු හරස්කඩක් සහිතව වැඩි ශක්තියක් ලබාදෙන පෙර ආතතීකරණය කරනලද කොන්ක්‍රිට් තලාඳ (Pre Stressed Concrete beams) භාවිතාකල හැකිනම් ඔබගේ ඉදිකිරීම් වියදම් සැලකිය යුතු ප්‍රමාණයකින් අඩුකරගත හැකිවනු ඇත. අවසාන වශයෙන් ඔබගේ නිවස ඉදිකරනු ලබන්නේ කපරාරු නොකරන ආකාරයටනම් එවන් විශේෂ බිත්ති සඳහා ලින්ටල සකස්කරගැනීමට එයටම ආවේනික ලෙස සකස්කල ලින්ටල් බ්ලොක්ස් පවතින බව දැනසිටීමද වැදගත්වනු ඇත.


(ප.ලි. සියළු ඡායාරූප අන්තර්ජාලය ඇසුරෙන් ලබාගත්ඒවා බව කරුණාවෙන් සලකන්න)

21 comments:

  1. ඉස්සර කාලෙ ලින්ටල් වෙනුවට..බිත්තියටම..ක‍ටුකම්බි යොදා බැදීමත්,ලීවලින් ලින්ටල් එකක් යෙදීමත් දැක තියෙනවා. ඒ වගේම පැරනිමගෙවල් වල කලුගල් වලිනුත් යොදාතියෙනව දැක ඇත්තෙමි.

    ReplyDelete
    Replies
    1. මුල් වර්ග දෙක නම් මමත් දැකලා තියෙනවා. ඒත් කළුගල් ලින්ටල් නම් සාමාන්‍ය නිවාසවල මට හමුවෙලා නැහැ.

      කොහොම වුනත් බිත්තියේ බදාමය‍ට කටුකම්බි යොදා බැදීමෙන් නම් සැලකියයුතු ශක්තියක් එකතුවුනා කියලා හිතන්න අමාරුයි නේද.

      මේ ගැන දැනුම බෙදාගත්තාට ස්තුතියි . දිගටම අපත් එක්ක රැදෙන්න.

      Delete
  2. ඉක්මනට ගේ හදමුකො.. මාසෙකට මෙච්චර මදි... :)

    ReplyDelete
    Replies
    1. //මාසෙකට මෙච්චර මදි... :)//
      සහතික ඇත්ත.
      පසුගිය කාලය පුරාවට වැඩ අධික වුනා සහෝ, ඒකයි පෝස්ටු පමාවුනේ.



      //ඉක්මනට ගේ හදමුකො.. //

      අවාරෙට අඹ වැටෙන්නා වගේ සතිගනනාවකට සැරයක් පෝස්ටුවක් දමාලා මේ වැඩේ කරන්න බැහැ තමයි.
      මොනා කරන්නද..., නම මේසන්බාස් නේ,
      ඉතිං වැඩත් නමේ විදිහට එපැයි :)

      Delete
  3. වැදගත් කතාන්දර ගොඩකි..ස්තූතියි...

    ReplyDelete
    Replies
    1. උනන්දු කිරීම ගැන ස්තුතියි. දිගටම අපත් එක්ක රැඳෙන්න.

      Delete
  4. ඉතාමත් වැදගත් බ්ලොග් එකක්! හරිම අගෙයි මේ වැඩේ..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි. දිගටම අපත් එක්ක රැඳෙන්න.

      Delete
  5. ඇත්තෙන්ම මේනම් වටිනා ලිපියකි කොහොමත් ඔබ වගේ ජනතාව දැනුවත් කරන උදවිය දුලබයි..ස්තුතී

    ReplyDelete
    Replies
    1. උනන්දු කිරීම ගැන බොහොමත්ම ස්තුතියි.

      Delete
  6. අදනම් යමක් එකතුකරන්න ඉඩක් තියලා නෑ වගේ.

    ජනෙල් කවුලුවට ඉහලින් යට ලී පිරිද්දුමක් හෝ බාල්කයක් යෙදෙන්නෙ නැත්නම් බිත්ති උස අඩි 9 ක් පමණ වන අවස්ථාවකදී මිල්ල දැවයෙන් කළ පියන් තුනේ ජනේලයක් වුවද ලින්ටල් නොමැතිව තැබිය හැකියි.
    එහෙත් මේ ක්‍රමය යොදාගන්නෙ පහළම ආර්ථික මට්ටමේ සිටින නිවාස අපේක්ෂකයකු ඊළග ආර්ථික මට්ටම දක්වා ඔසවා තැබෙන අඩු වියදම් කුඩා නිවාස සඳහා පමණයි.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සුමිත්.

      වියදම් අඩුකරගන්න, ලින්ටල නැතිව ගේ හදන්න ලී වෙනුවට කොන්ක්‍රිට් උළුවසු පාවිච්චි කරන්නත් පුළුවන් නේද.

      ඒක නෙමෙයි,
      බ්ලොග් එක පටන්ගන්නේ නැතිද ?

      Delete
    2. බ්ලොග් එකක් නම් පටන් ගත්තා. ඒත් තවම දුවන්නෙ මේ විෂය ධාරාවෙන් පිට, අපේ පෙදරේරුවාට වැඩේ අල්ලලා යන එකක් නෑ සමහරවිට.

      Delete
    3. //අපේ පෙදරේරුවාට වැඩේ අල්ලලා යන එකක් නෑ සමහරවිට//

      අපොයි නැහැ.
      පෙදරේරුවටත් හිතන විදිහේ සුන්දර අතීතයක් නැහැ. කොටින්ම පෙදරේරුවා අද මෙතන ඉන්නේත් කොහේද ඉතිරිවෙලා තිබ්බ කනා චාන්ස් එකක් නිසායි.

      Delete
  7. මම පලවෙනි වතාවට මේ පැත්තේ ආවේ වටිනා බ්ලොගකි.ඉදිරියට දිරිය පතමි!සහෝ මටද ගෙයක් හදන සිහිනයක් ඇත.ඒ සඳහා මගේ පුංචි බජට්ටුවට ගැලපෙන ගෘහ නිර්මාණ ශිල්පියෙක් සොයා ගන්නේ කෙසේද?

    ReplyDelete
    Replies
    1. මේකත් ගොඩක් දෙනෙක්ට තියෙන ගැටළුවක් තමයි. අහවලා ගාවට යන්නය කියලා කෙලින්ම කියන්නට බැරිවුනත්, ගැලපෙන ගෘහ නිර්මාණ ශිල්පියෙක් තෝරාගැනීම පිලිබඳව වටිනා උපදෙස් ටිකක් ඉදිරි ‍පෝස්ටුවකින් ලබාදෙන්නම්.

      Delete
  8. බ්ලොග් අතරේ තිබ්බ "වැදගත්" කියලා කට ඇරලා කියන්න පුළුවන් බ්ලොග් එකක්.... ආයෙමත් එන්නම්කෝ...

    ReplyDelete
    Replies
    1. උනන්දු කිරීම ගැන ස්තුතියි.
      දිගටම අපත් එකක් රැදී ඉන්න කියලා ආරාධනා කරනවා.

      Delete
  9. උනේක විද බ්ලොග් අතර දුර්ලබ ගනයේ බ්ලොගයක් දිගම ලියමු. මේකෙන් උගත හැකි දේ බොහෝමයි

    ReplyDelete

මේ වැඩේ හොදද නරකද කියලා කිව්වොත් ඒක ඉදිරි පෝස්ටු වලට නම් පුංචි තල්ලුවක් වේවි. හැබැයි කොමෙන්ටුවක් නොදැම්මා කියලා මගේ හිතේ කිසිම කහටක් නම් නැහැ ආයිබොවන්ඩ....